Tuesday, July 6, 2010

හිපි කතා සහ අපේ කතා

මේ ලිපිය ලියන්න ප්‍රධාන හේතුවවුනේ පහුගිය දවසක 'තරුණ ගුරුවරයකුගේ සටහන්' බ්ලොග් අඩවිය ලියන අරුණ සර් ලියල තිබුණු ලිපි දෙකක් සහ ඊට ප්‍රතිචාර ලෙස ගොඩ නැගුනු කතාබහ. පලවෙනි ලිපිය තමා අර නෑදකම් පලහිලවුව ගැන අපි කවුරුත් දන්නා විහිලු කතාව, අනික ඊට ප්‍රතිචාර දක්වපු කොමෙන්ටුවක් නැවත පල කිරීම.
ඉතින් ඕක මත ලොකු සංවාදයක් ගොඩ නැගුනා, අපේ ආර්ය සිංහල බෞද්ධ සංස්කෘතිය ගැනයි, සුද්දගේ හිපි සංස්කෘතිය ගැනයි. එතන හරිහමන් සංවාදයක් ගොඩනගන්න මම සැහෙන්න උත්සහකරා. නමුත් 'යන්නේ කොහෙද මල්ලේ පොල්' තත්වෙන් මිදෙන්න හැකියාවක් තිබුනේ නේ.
පළමු ප්‍රශ්නේ සංස්කෘතිය කියන්නේ මොකක්ද කියන එක. ශබ්දකෝෂයට අනුව සංස්කෘතිය කියන්නේ 'යම්කිසි තැනක පිහිටි සමාජයක් යම්කිසි කාල සීමාවක්තුල අනුගතවන හර පද්ධති, කලාකෘති ' වගේ සියලුමදේ. මෙතන වැදගත් වෙන්නේ යම්කිසි කාල සීමාවක් ඇතුලත කියන කොටස. ඔන්න ඔතනයි අපි ගොඩක් අයට එකග වෙන්න අමාරුවුනේ. නමුත් මම දකින විදිහට සංස්කෘතිය වෙනස් වෙනවා. වෙනස් වීම වෙන්න ගොඩක් කරුණු කාරණා බලපාන්න පුළුවන්. සමහර සංස්කෘතිකමය දේවල් පසුකාලීනව පහසුව තකා වෙනස් වෙනවා. තවත් සමහරදේ වෙනස් සංස්කෘතීන් එක්ක මිශ්‍රවීමෙන් ලැබෙනවා. තවත් සමහරදේ සංස්කෘතිය තුලට බලහත්කාරයෙන් ඔබනවා.


මීට වසර දහස් ගණනකට පෙර අපේ රටේ තිබුන සංස්කෘතිය නෙවෙයි අද තියෙන්නේ. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙත් එහෙමයි. අනුරාධපුර යුගයේ වගේ උඩුකය නිරුවත්ව කාන්තාවකට අද ඉන්න බෑ. අඩුතරමින් රොබට් නොක්ස් කිව්වා නුවර යුගයේත් එහෙම හිටිය කියල. අපේ රටේ සංස්කෘතියට ඔය කාලේ මුලික වශයෙන්ම බලපාන්න ඇත්තේ බුද්ධාගම. බුදුදහමේ මුලිකම හරයක්වන පුද්ගල නිදහස ඉතාම හොදට තිබුන වෙන්න පුළුවන්. පසුකාලීනව ඉන්දියානු ආක්‍රමණ නිසා අපේ සංස්කෘතියට ඉන්දීය අභාෂය ලැබුන. පොළොන්නරු යුගයේ ශිව දේවාල වගේම, සඳකඩ පහනින් ගවය ඉවත්වීමත් අපි සාමාන්‍ය පෙළ පන්ති වලදී ඉගෙනගන්න හින්දු බලපෑම්. ඕවට අමතරව අද මේ දක්වාම අපේ පන්සල් වල දකින්න ලැබෙන දේවාලත් ඉන්දීය හින්දු අභාෂ තමයි මට තිතෙන විදිහට. ඔතන තියෙන්නේ සංස්කෘති දෙකක මිශ්‍රවිමක්. ඔය මිශ්‍ර වීම බලහත්කාරයෙන් වගේම ප්‍රයෝගිකත්වය නිසාත් වෙන්න ඇති. හරක් තියෙන සදකඩ පහන් කඩන්න ඇති බලහත්කාරයෙන් ඒ වගේම හින්දු අයට වදින්න පුදන්න දේවාල හැදෙන්න ඇති. සුද්දගැනත් ඉතින් ඔය ටිකමනේ. යස අගේට සරම අදාල සනීපෙට හිටපු අපේ අයියල සුද්දගෙන් එක දාගන්න කියල ටයි කෝට් අදින්න පටන් ගන්න ඇති ඔය මහා ගිනි අව්වේ. ඒ වගේම සුද්ද කියන්න ඇති උබල අපි වගේ ඇන්දේ නැත්නම් එකෙක්වත් ලියන මහත්තයක්වත් කරන්නේ නෑ කියල. උඩුකය නිරුවත්ව හිටපු අපේ කාන්තාවෝ දැකපු සුද්දෝ කියන්න ඇති, අපේ වික්ටෝරියා මහේෂිකා උන්නාන්සේ කියල තියෙන්න කාන්තාවෝ උනාම සංවරව මුළු ඇගම වැහෙන්න ඇදුම් අදින්න ඕනේ කියල, ඉතින් උබලත් ඒ විදිහට හිටපල්ලා කියල. ඉතින් ඔන්න ඔහොම සංස්කෘති මිස්රවෙලා අද අපිට තියෙන සංස්කෘතියට ඇවිල්ල තියෙනවා.
නමුත් අපේ අරුණ සර් හිතන්නේ වෙනස් විදිහකට. කාන්තාවක් උනාම පිළිවෙලට නියමාකාරයෙන් ආරිය සිංහල බෞද්ධ ඇදුමක් වෙන සාරිය ඇදල ගියාම බස් වල ජැක්වදින්නේ නැතිලු. සාරිය ආරිය සිංහල ඇදුමක්ද නැත්ද කියන එක පැත්තකින් තියමුකෝ.(http://en.wikipedia.org/wiki/Sari) මම මේවගේ තර්ක ඉදිරිපත් කලේ ඉස්කෝලේ 8 - 9 වසර වලදී විවාද තරගවලට. කිසිම පදනමක් නෑ, නමුත් සැකයේ වාසිය ලබාගන්න. නමුත් හරිහමන් කතිකවකදී ඔයිට‍ වඩා තාර්කික වෙන්න ඕනේ.  මුලු ඇගම වැහෙන්න ඇදුම් අදින්න ඕනේ කියන එක අපේ සංස්කෘතියට ආවේ වික්ටෝරියන් සුද්දගේ සංස්කෘතියෙන්. ඉතින් ඔය කියවෙන්නේ මීට ආවුරුදු 500 විතර කලින් අපේ සමාජයට යහපත් කියල කාවද්දන ලද අදහසක් කියලයි මට හිතෙන්නේ. එහෙම නැතුව මේක ඔරිජිනල් ශ්‍රී ලංකන් කොන්සේප්ට් එකක් නම් නෙවෙයි. අනික මම දකින විදිහට කාන්තාවට සම්පුර්ණ අයිතියක් තියෙනවා තමන්ට ඕනේ ඇදුමක් අදින්න. තමන්ට ලස්සන කකුල් දෙකක් තියෙනවනම් එක පෙන්න අදින එක පවක් නෙවෙයි. හැබැයි ඔය බස් එකට නගපු ගමන් ජැක් ගහනඑක නම් දකුණු ආසියාවේම පොදු දෙයක්. (දකුණු ආසියාවේ ඇරෙන්න වෙන රටවල මම දැකල නම් නෑ. කවුරු හරි දන්නවනම් කියන්න) එතන තියෙන්නේ මම දකින විදිහට සේක්ෂුවල් ඩිප්රේෂන් එක. එකටත් එක්තරා දුරකට අපි ඔලුව උඩ තියාගෙන උදේ හවස මල් පූජා කරන, අපේමයි කියල හිතන් ඉන්න, සුද්ද අපිට හදුන්වල දුන්න වික්ටෝරියන් චින්තනේ වගකියන්න ඕනේ. අද ඔය තත්වේ බටහිර රටවල නෑ. නමුත් කිහිපදෙනෙක් යල්පැන ගියපු අදහස් හිස උඩතියන් ජීවත්වෙනවා. ඒ අය හදන්නේ අපේ සංස්කෘතිය කාලනුරුපව වෙනස්වීම වලක්වන්න. මට මතකයි මිට වසර ගණනකට පෙර ගැහැණු ළමයෙක් ජීන්ස් අදිනවට අපේ ඔය කට්ටිය විරුද්ද උනා. නමුත් අද ගොඩක් ගැහැණු ළමයින්ගේ අඩුම එක. අදින්න පහසුයි. වැඩි වියදමක් නෑ. ලස්සනයි. ඉතින් එහෙම එකක් අදිනවට විරුද්ද වෙන එක මම දකින තරමින්නම් මෝඩ කමක්. සරලවම මම කියන්නේ මෙච්චරයි මට ඕනේදේ අදින්න මට නිදහස තියෙන්න ඕනේ.
කට්ටිය මාත් එක්ක එකග වෙන එකක් නෑ ගොඩක් දේවල් සම්බන්දයෙන්, නමුත් පොඩ්ඩක් හිතන්න අපි කොච්චර විසිල් ගහල ඇතිද, සූව දාල ඇතිද පාරවල්වල. කොච්චර පිළිගන්න අකමැති උනත් ඕව දැන් අපේ සංස්කෘතියේ කොටසක්. සංස්කෘතියෙන් එලියට විසිකරනවද නැත්ද කියන එක කාලය සහ ඉදිරි පරම්පරාව තීරණය කරයි. නමුත් එකක් මට හොදටම විස්වාසයි, යහමග පෙන්විය යුත්තේ තලිබාන් මානසිකත්වයකින් නෙවෙයි. බොහොම විවෘතව කතාබහ කරලා සංවාදයක් ලෙස.
අපේ ගොඩක් අය තවම සුද්දට ගරහන එක අතැරලා නෑ. නමුත් ඇත්තටම ගරහන්න ඕනෙද කියන එක ගැන ගැටළුවක් මට තියෙනවා. සංස්කෘති දෙකක්, හර පද්ධතීන් දෙකක් එකිනෙකට සංසන්දනය කරන්න නිර්ණායක මම දැනුවත්ව නම් නෑ. ඔයවගේ දෙයක් එළිපිට කට කරනවා කියන එකෙන් වෙන එකමදේ සුද්දට කත අදිනවා, කඩේ යනවා කියල කාර්ඩ් කෝටියක් සෙට් වෙන එක විතරමයි. නමුත් ඕනෙම සමාජයක යහපත් කියල පිළිගන්න දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ සමාජයතුල දරුවෝ දෙමවුපියන්ට ආදරයෙන් සලකන විදිහ අනිත් සමාජයන්ට හොද ආදර්ශයක්. එවගේ සුද්දගේත් තියෙනවා හොද ගති කිහිපයක්. උදාහරණයකට ගත්තොත් ඊයේ මම දවල්ට කන්න ලග තිබිච්ච කඩේකට ගියා. කඩෙන් එලියට එනකොට මට පොඩ්ඩක් කලින් තව මනුස්සයෙක් එලියට බැස්සා. එලියට බැහැල පොර මට කියනවා 'Sorry, I didn't see you' හේතුව මම එලියට බහිනකන් දොර ඇරන් ඉන්න බැරි උනාට. ඔහොම විතරක් නෙවෙයි සමහර වෙලාවට විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු ළමයට එයාගේ පන්තියට යන්න දොර ඇරලා අල්ලන් ඉන්නවා. මමනම් ලංකාවේ කිසිම ආයතනයක ඔයවගේ නිහතමානී කමක් දැකල න.  සිසුවෙක්ට දොරක් ඇරලා දෙන එක කරන්න අපේ ගුරුවරු පසුබටවෙනවා. තමන්ගේ ගරුත්වයට හොද නෑ කියල. නමුත් ඔය නිහතමානිත්වය අපේ රටටත් ගන්න පුලුවන්නම් කොච්චර හොදද. අනිත්දේ තමයි වාහන පදවන විදිහ. ඇති බහුතරය බොහොම ආරක්ෂිතව වහනය පදවනවා. සීබ්‍රා ක්‍රොසින් එකක් ගාවට අපි ගියත් පාරේ වාහන නතර වෙලා ඉවරයි. පාරක වාහනයක නලා හඩක් අහන්න වෙන්නේ බොහොම කලාතුරකින්. පොලිසිය අකුරත් නීතිය ක්‍රියාවේ යොදවනවා. ඉතින් ඔයවගේ යහපත්දේ දකින්න අමාරු මොකද අපිට. අපේ සමාජයට, සංස්කෘතියට ඕව එකතු කරගන්න එක එච්චර නරක දෙයක් නෙවෙයි.


තව අපේ ගොඩක් අය හිතන දෙයක් තමයි, අපේ සංස්කෘතියේ හැටියට බටහිර තියෙන සංගීතය ගැලපෙන්නේ නෑ කියන එක. එකත් ඔක්කොම නෙවෙයි, ඔය අකොන් වගේ ගායකයන්ගේ සින්දු. මටනම් ඔය කතාව තේරෙන්නෙම නෑ. සංගීත රසවින්දනය කියන එක පුද්ගලයා මත වෙනස් වෙනවා. සමහරුන්ට අමරදේවයන් රසවිදින්න පුළුවන්, තව අයට අකොන් රසවිදින්න පුළුවන්. තව අය ලයනල් රන්වලයන්. තව අයට පුළුවන් ඔය කිහිප දෙනෙක්ම රසවිදින්න. ඒවගේමතමා අමරදේවයන්ගේ සමහර සින්දුවලට අමරදේවයන්ට කැමති අය අකමැතියි. අනිත් අයටත් එහෙමමයි.  අනික සින්දුවක රුපරචනය කියන එක අල්ලාගෙන සින්දුව පතුරුගහන එක වැරදියි. අනික සිංදුවල කුණුහරුප කියනවා කියනවනම් අපේ බන්දුල නානායක්කාර මහත්මය රචනා කරපු 'බිසරු ලියන මැද ' සින්දුව තහනම් කරන්න ඕනෙනේ. මම දන්නා තරමින් ඔය සින්දුවලින් උලුප්පා පෙන්වන්නේ සෘන්ගාර රසය. ඒකරසවිදින්න බැරිනම් එතන තියෙන්නේ පුද්ගලික නොහැකියාව මිසක් යහපත් සංස්කෘතියක් නෙවෙයි.


සමස්තයක් විදිහට ගත්තම මට කියන්න ඕනේ මෙච්චරයි. ඕනෙම සංස්කෘතියක් කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒකට අනුගත වෙන්න බැරි වුනොත් අර මාර්ටින් වික්‍රමසිංහ මහත්මය කිව්වා වගේ, වදවෙලා යන්න තමයි වෙන්නේ. අනික මේ ලෝකේ සන්පුර්ණ යහපත් කියලවත් අයහපත් කියලවත් දෙයක් නෑ. හැමදේකම හොද වගේම නරකත් තියෙනවා. ඉතින් අපි ඒක තේරුම් අරගෙන අර හංසයා වතුරෙන් කිරි වෙන්කර ගන්නවවගේ යහපත්දේ එකතු කරගත්තේ නැත්නම් අපිටමයි පාඩු වෙන්නේ.


යහපත් සංවාදයක් මෙම ලිපිය මතින් ගොඩ නැගේවි කියල මම හිතෙනවා.




කොමෙන්ට්ස් එකක්වත් නෑ කියල පෙන්නුවට ගනන්ගන්න එපා. '0 Comments' කියලා තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. දාලතියෙන කොමෙන්ට්ස් පෙනෙවි.