Friday, September 30, 2011

මට තාම මතකයි

සාහිත්‍ය මාසයේ අවසානය වෙනුවෙනි.
කියවීම හුරුකිරීම සම්බන්දව සිහිකළයුතු පුද්ගලයන් දෙපොළකි. ආර්ථික විද්‍යා උපාදිධාරියෙකුවන මපියාණන්ය. අනෙක් පුද්ගලයා සිංහල උපාදිධාරියෙකුවන පියාණන්ගේ වැඩිමහලු සහෝදරයාය.
සවස වැඩ අවසන්ව ගෙදර එන තාත්තා ඔඩොක්කුවේ  මා තබාගෙන කන්තෝරුවේ පුස්තකාලයෙන් ගෙනෙන පොත් ලන්තෑරුම් එළියෙන් කියාදුන්නා මතකය. (මට වයස 10 වනතෙක් අපේ ගෙදරට විදුලි බලය තිබුනේ නැත). මහපොළවේ කැනීම් කර සොයාගත් ඩයිනසොරස් ඇටකටුවලින් වසර මිලියන ගණනකට පෙර ජීවත්වූ සතෙකුගැන කියන ආකාරය, චීනයේ මහා ප්‍රාකාරය සෑදු අයුරු, නිල් අම්ස්ට්‍රොන්ග් සද මත ගොඩබැසීම, ලයිකා බැල්ල අභ්යාවකාෂගතවිම ගැන මා මුලින්ම දැනගත්තේ එසේය. පුංචි සියා සිටි රාදුගා (දේදුන්න) ප්‍රකාශකයන්ගේ පොත්වලින් සුර්යග්‍රහණ, වල්ගාතරු ගැන මුල්පොත තැබුණේ තාත්තගේ ඔඩොක්කුවෙදිය.
අවම වශයෙන් එවකට මසකට වරක්වත් යන්නට යෙදුනු ලොකු තාත්තගේ නිවසින් ආපසු එනවිට ලැබුණු පොත් හතර පහ ගමන්මල්ලේ දමා එන්නේ ඉවසිලි රහිතවය. එවකට නොතේරුණත් ළමාකල මා අත්පත් කරන ලද ඒ පොත් ලොකු තාත්තා ඉතා සැලකිල්ලෙන් තෝරා සැලැස්මක් ඇතිව දුන් ඒවා බව ඒ ගැන පසුව බලන මට අද හැගේ. කුමරතුගුවන්, වික්‍රමසිංහයන්, ඉලංගරත්නයන් මා හදුනාගන්නේ එලෙසිනි. වයසින් මුහුකරයාත්ම විජයබා කොල්ලය, කැලැහද මා  අතවිය.
කුමන හෝ හේතුවක් මත නිවසේ තිබුනාවූ  රුසියානු පොත් කන්දරාව තුලවූ වැඩබැරි දාසගේ කතාවක් (කතුවරයා නිකොලයි නොසවූ ලෙස පුංචි මතකයක් ඇත)  බොහෝ දුරට මා තනිවම කියවූ ලාංකීය නොවන ප්‍රකාශනය වීමට ඉඩ ඇත. දක්ස පාල බැලුමක් සාදා ගුවන් ගතවන ගමනක මුල, ගමනට සුදානම් වීම මෙන්ම ඉස්කුරුප්පු සහෝදරයින් සෑදු සෝඩා වතුරෙන් දුවන රථය අදත් මාගේ මතකයේ ඇත. "කඩිනම් රාළට හදුනා බඩගින්නක් - ගිල්ලා හීතල ඉස්තිරික්කයක් "  ලෙස වැඩබැරියා කවි ගොතත්දී එදා මෙන්ම අදත් මුවගට සිනාවක් නැගේ.  


පාසල් නිවාඩු කාලයේ පියාණන් සමග දවසක් ඇර දවසක්වත් කාර්යාලයට යන මා දවසම පුස්තකාලයේ ගතකෙරු ආකාරය අදමෙන් සිහියට නැගේ. කියවිය යුත්තේ මෙයයි කියාදීමට කිසිවෙකුත් නොමැති මේ කාලය තුල පුස්තකාලය බොහෝ දේ කියවා බැලීමට හැකිවිය. ආතර් සි ක්ලාර්ක් මහතාගේ 2001, 2010 මෙන්ම 2061 කියවන්නේ මේ කාලසිමවෙදිය. වරක් කුමන හෝ අක්ෂි ආබාදයක් නිසා වෛද්‍යවරයෙකු හමුවීමට මෑණියෝ මා කැදවාගෙන යන්නේ මේ කියවීම නිසා මගේ ඇස දුබල වියයි සැක කරමිනි. පාසලේ තුන්වෙනි වසරේ ඉගෙනුම ලබන්නෙකු ආතර් සි ක්ලාර්ක් මහතාගේ 2001 පොත කියවමින් සිටිනවා කියා අසන්නට ලැබුණු වෛද්‍යවරයාගේ නළල රැලි වැටෙන්නේ මගේ අක්ෂි අබාධය නිසා නොවේ.

කරුණාතිලකයන් විසින් පරිවර්තනය කරන ලද ඩුමාගේ මොන්ත ක්‍රිස්තෝ පොත් හයෙන් එද්මොන් දාන්තේ මොන්ත ක්‍රිස්ටෝ සිටුවරයා වන ආකාරයත්, පැරිසියේ විස්තරත්, තමන් විපතට හෙලු අයගෙන් දරුණු ලෙස පලිගන්න අයුරුත් අතරින් කියවෙන ගැබුරු ජිවන යථාර්තය වටහාගැනීමට එකල ළමා මනසට නොහැකි වුවද අද එදා මතුපිටින් දුටුදෙයට වඩා යමක් පෙනේ. කොර්සිකානු සහෝදරයෝද එසේමය.
මෙන්ම ටෝල්ස්ටෝයිගේ යුද්දය හා සාමය පොත් සමුහය මා කියවන්නේ මේ අවදියේදීය. රෝස්තොව්, අන්ද්රු කුමරු, නටාෂා පිළිබද කුතුහලයෙන් කියවූ මා ඇනා කැරනිනා කියවන්නේද මේ සමයේදීය. රුසියානු සාහිත්‍යයේ එක පසක් ටෝල්ස්ටෝයි තුලින් දකින මා තවත් පසක් නිකොලයි නොසවූ සහ ලස්සන වසිලිස්සා තුලින් අදුනාගනී. එතෙක් නොදුටු රුසියානු පැතිකඩක් මා දකින්නේ ගෙදරදී අහම්බෙන් නෙත ගැටුණු ලෙනින්ගේ ජිවිත කතාව රැගත් 'ආලෝකය' තුලිනි. තරුණ උල්යානොවූ වොල්ගාවේ බෝට්ටු හිමියාට විරුද්දව නඩු කියූ සැටි, ඉස්ක්රා නොහොත් ගිනිපුපුරු පුවත්පත මුද්‍රණය කර අයුරු, ඔක්තෝබර් අරගලය ඇරබීමට අවුරෝරා නැවෙන් පළමු වෙඩිමුරය තැබූ සැටි දැනගත්තේ ආලෝකයෙනි. අදටත් දෙසැම්බරයේ ලක්දිවට ගියවිට එක පරිච්චේදයක්වත් කියවන පොත් දෙකෙන් එකක් වන්නේ ආලෝකයයි. ඉන් අනතුරුව ගෝර්කිගේ අම්මා කියවන මා, වානේ පන්නරය ලැබූ සැටි, කමකට නැති එකෙකුගේ ජීවිතය පොත්වලින් රුසියානු විප්ලවය, සරල ගැමි ජීවිතය එතුල ගැබ්වුණු එකල නොතේරුනද රචකයා විසින් රොමැන්ටික් කරනලද ජිවිත රසවිදියි. දුබ්රෝවුස්කියි, මිනිසුන් 26 හා ගැහැනියක්, ඉවාන් ඉල්විත්ගේ මරණය, ගැමියෙක් ජෙනරාල්වරු දෙදෙනෙක් පෝෂණය කරහැටි ආදී විවිද කෙටි කතා මෙන්ම දොන් නදිය ගලාබසි, සැබෑ මිනිසෙකුගේ කතාවක් වැනි නවකතාද හමුවන්නේ මේ කාලයේදීය. වර්තමානයේ මිතුරන් බොහෝදෙනෙකු විශිෂ්ටයි පවසන ගුරු ගීතය මාහට හමුවූ අදද රසවිදිය නොහැකි පොතක් වන්නේ කවර හේතුවක් නිසයි මට නොතේරේ.

එකල ජනප්‍රිය සාහිත්‍යවූ කල්ලන්දුවේ මුතු කොල්ලය, වනගත ළමෝ පාසල් පුස්තකාලයෙන් කියවන මාහට ෂර්ලොක් හෝම්ස් හමුවෙයි. එතෙක් අතරින් පතර කතා කිහිපයක් පමණක් කියවා තිබු මාහට කරුනාතිලකයන් (??) විහින් පරිවර්තනය කරනලද කතා රාශියක් ඇති ඒ පොත මහනාර්ග පොතක්වූ බව නොකියමනාය.
එවකට පාසලේ හත අට පන්තිවල පසුවූ මා පදික වේදිකාවකින් මිලදීගත් උම්මග්ග ජාතකයත්, පියාණන් කොහෙන්දෝ ගෙනා මහාවංසයේ (හා චුලවන්සයේ) තරමක් සරල සිංහලෙන් ලියවුනු පොත්දෙකත් කියවයි. ඔය අතරින් මගේ සිත් ඇදගන්නේ සුරංගනා කතාවක්මෙන් ලියවුනු 'වානරයා' නමින් සිංහලට පරිවර්තනය කර සුරිය ප්‍රකාශකයින් විෂින් පලකරන ලද චීන පොතක් වූ 'the   monkey'. ලොකු තාත්තගේ නිවසින් ගෙනා මේ පොත කොතරම් සිත් බදගත්තද යතොත් ඊට බොහෝ කලකට පසුව උසස් පෙළ අවසන්ව ලොකු තාත්තාගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා ගන්න ලද පොත වුයේද එයයි. ඒ මවිසින් ඉල්ලගන්න ලද අවසන් පොතදවුයේ හදිසියේ රෝගාතුරවූ ලොකු තාත්තා මෙලොවින් නික්මයාමෙනි. ක්‍යතියෙකුගේ මරණයකට ප්‍රථම හා අවසන් වරට මගේ දෑසින් කදුලක් හැලුනේ ඔහු වෙනුවෙනි. අදටත් ලංකාවට ගියවිට මුල් පිටුවේ  ලොකු තාත්තගේ අත්සන ඇති, ඔහු විසින් ගනකම් නුලකින් බදිනලද ඒ පොත මා නොවරදි කියවන දෙවෙනි පොතයි. සැතපුම් දහස් ගණනක් ඇත සිටියද අදටද ආලෝකය පොත මෙන්ම, වානරයා පොත් මාගේ පොත්ගුලේ තිබෙන තැන මතකයෙන් කියන්නටද පොතේ හැඩරුව මෙන්ම කොලයේ ගනකමද මගේ මතකයේ හොදින් රැදී ඇත.
ඉංගිරිසි දැනුම මැදින් මද ඉහාල යත්ම ඔලිවර් ට්විස්ට්, හකල්බෙරි ෆින් ගැන දනහදුනා ගන්නා මා ඊට සමගාමිව හාර්ඩි සහෝදරවරුන් ගැන කියවන්නේ ඉතාම අසාවෙනි. ටින් ටින් මෙන්ම අස්ටරික්ස් කාර්ටුන් පොත් කියවන්නේ පාසල් පුස්තකලයෙනි.
 ජුලියස් සීසර්, අටවෙනි හෙන්රි මෙන්ම ඉලියඩ් හා ඔඩිසි කියවන්නේ තවත් සුවිසල් සාහිත්‍යමය දොරටුවක් විවර කරමින් බව නොකිය මනාය. මාර්ක් ඇන්තනි සීසර්ගේ මරණයේදී කරන කතාව ශේක්ස්පියර් ඉදිරිපත් කරන ආකාරය කොතරම් රසවත්ද, ඒ හා සමානව අකිලිස් සහ හෙක්ටර්ගේ ද්වන්දව සටන ගැන හෝමර් ඉලියඩ් තුල පනපොවා ඇති ආකාරය අදටත් හොදින් මතකයේ ඇත. රෝමානුවන්, අටිලා ගැන, පළමු හා දෙවෙනි ලෝක යුද්ද ගැන සිංහලෙන් කියවීමට යමක් මාහට හමුවී නොමැති තරම් වුවද ඉංගිරිසිය තුල ඇති විශාල පොත් කන්දරාවක් හමුවී තිබේ.

 පොත් පත් ගැන කියන විටදී නොකියාම බැරි අනෙක් දෙය වන්නේ සගරා සහ පුවත්පතය. 1991 පටන් නොකඩවා ගත් එවකට බන්දුල පද්මකුමරයන් විශිෂ්ට ලෙස කරන ලද මුතුහර සගරාවද ඊට සමගාමිව තිබු මනහර සහ පසුව පැමිණි සිව්දෙසද එකල සැම මසකම කියවූ සගරාය. විජය සහ සිවුදෙස පුවත්පත් සතිපතා අප ගෙදර විය. සතිඅන්තයේ සිංහල සහ ඉංගිරිසි පුවත්පත් ගැනීම අදටත් පියාණන් කරත් දැන් දැන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවුත්ති කියවීම පියාණන්ගේ දවසේ කොටසකි.
උසස් පෙලද සමග මදක් අඩාලවූ පොත් කියවීම තවමත් ළමාකල මෙන් සරල සුන්දර නැත. උපාධියට ඉගෙනීමේදී කියවන ලද නීරස පරිගණක විද්‍යාව සම්බන්ද පොත් පෙලද දැන් පස්චාත් උපාධිය වෙනුවෙන් කියවන නීරස මුල්‍ය කලමනකරය පිළිබද පොත්ද හේතුවෙන් විවේකයට පොත් කියවීමට කණකොකා හඩා ඇත. රාජකාරිය, ඉගෙනීම් කටයුතු හා වෙනත් රාජකාරි නිසා අතිදාවනකාරිවී ඇති ජීවිතය තුල පොතක් කියවීමට වෙලාවක් වෙන්කර ගැනීම තබා හිත නිදහස් කරතමා ගැනීමටද වෙහෙසිය යුතුව ඇත.
ඒ හේතුවෙන් මීට දශක දෙකකට මත්තෙන් වයසට වඩා මුහුකුරා ගිය විද්‍යා ප්‍රබන්ද කියවූ මා දැන්  උදැසන රාජකාරියට යනවිට දුම්රියේ නොමිලේ ලැබෙන මෙට්‍රෝ පුවත්පතටද, දිවා අහාරය්දී විනාඩි කිහිපයක් ගතකරන BBC වෙබ් අඩවියටද හා තවත් අඩවි කිසිපයකට සීමාවී ඇත්තේ පුදුමාකාර අවාසනාවකට බව විටෙක සිතේ.

Thursday, September 22, 2011

ඔෆිස් රස කතා

අපේ ඔෆිස් එකේ දෘඩාංග පැත්ත බලාගන්න ඉන්නේ ඉයන් කියල පොරක්. උගේ කට ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒකට වඩා බෝක්කුවක් හොදයි මගේ හිතේ. පොරට ඉන්නවා අවුරුදු 3-4 පොඩි පුතෙක්. ඔය පුතාගේ හපන් කමක් ගැන පොර කියපු කතාවක් තමා අද ලියන්න යන්නේ.
පොරගේ අල්ලපු ගෙදර ඉන්නවලු කපල් එකක්. අවුරුදු 30 ගණන් වල වගේ ජෝඩුවක්ලු. සතිඅන්තේ දවසක පොර පුතා එක්ක කොහෙද යන්න හදනකොට අල්ලපු ගෙදර ඉන්න පොරව හම්බුවෙලා.
ඉතින් පුතා ඇහුවලු..
"that old lady lives with you. Is she your mum?"
("අර ඔයාගේ ගෙදර ඉන්න වයසක ගැණු කෙනා ඔයාගේ අම්මාද?")
අල්ලපු ගෙදර එකා නිකන් කරකවල අත ඇරිය වගේලු. පොර ඒ පාර කිව්වලු.
"No. She is my wife"
"නෑ, ඒ මගේ බිරිද" කියල.
පුතා ඒ ඔලුව එහෙම කහලා ටිකක් කල්පනා කරලා කියනවලු. 
"oh..She looks very old. So what happen to your mum?"
"හ්ම්ම්..එයා ගොඩක් වයස පාටයි. එතකොට ඔයාගේ අම්මට මොකෝ උනේ?"


අල්ලපු ගෙදර එකා 
"She died couple of years ago"
"එයා මැරිලා "


පුතා...
"Why she had enough? "
"ඒ මොකෝ, එයාට ඇති වෙලාද? (ඔයා එක්ක ඉදල)"


ඉයන්කාරයයි අල්ලපු ගෙදර එකයි මුනෙන් මුණ බලගත්තළු කට උත්තර නැතිව. 


Monday, September 19, 2011

ග්‍රේ උසාවි ගිය හැටි

මාස තුනකින් වගේ මුකුත් ලියන්න උනේ නෑ. අර මොකක්ද ගිනි ගත්තු මොකද එකා වගේ බිසී වෙලා නම් නෙවෙයි. දවසම අයිස් ගගහ ඔෆිස් එකේ ඉන්න මට මොනව බිසී වෙන්නද?
අනික මොකක් හරි කරන්න සිස්ටම් එකට දැම්මම අවුරුද්දක් විතර යනවා එකා ඉවර වෙන්න, ඉතින් එතකන් ඔහේ නිකන් ඉන්න එකා තමා කරන්නේ. නිකන් ඉන්නවා කියල එහෙමත් හරි නැනේ. කාලය අපතේ යවන්න හොද නැති නිසා ඔයා කාත් එක්ක හරි ලාවට වගේ චැටක් දාගෙන මගේ පාඩුවේ මලක් කඩාගෙන ඉන්නවා.
ඔය අස්සේ ඉතින් පරණ කතාවක් ලියන්න කියල තමා හිතුවේ.
මේක වුනේ අවුරුදු 1.5-2 වගේ කලින්. ග්‍රේගේ යාළුවො තුන්දෙනෙක් ආවා ලංකාවේ ඉදන් මොකක්ද මන්ද ලංකාව ප්‍රමෝට් කරන වැඩසටහනකට. ඉතින් ලන්ඩන් වලින් ග්‍රේයි තව යාළුවො දෙන්නෙකුයි මුන්ව හම්බුවෙන්න ගියා. ගිහින් ඉතින් අර ලොකු ආච්චි ඉන්න ගෙදරයි, එයාගේ අස්ප ඉස්තාලෙයි, බෙන් අයියගේ ඔරලෝසු කණුවයි පෙන්නලා එතනින් බෝට්ටුවකට නැගල ගියා ආච්චිගේ ඔටුනු තියෙන ලන්ඩන් ටවර් එකට. ඔය දවස් වල මුරලිදරන් මොකක් හරි රෙකොර්ඩ් එකක් කපු අලුතමයි. ඒ අස්සේ අර ආපු තුන් දෙනාගෙන් එකෙක් මුරලි වගේ. කියල වැඩක් නෑ. මිනිස්සු අම්බානට රැවටෙනවා. මුත් එක්ක පින්තුර ගන්න දගලනවා කට්ටියක්, තව උන් හැරි හැරී බලනවා, වැඩ කෝටියයි. අන්තිමට මුගේ මුනෙන් බාගයක් වැහෙන්න කැප් එකක් දාල තමා යන්තන් බේරා ගත්තේ.
ඔය ආපු තුන් දෙනාගෙන් එකෙක් ඊලග සතියේ බදින්න හිටියේ. ඉතින් ඔය වෙලාවට අපි වගේ යහපත් යාලුවන්ට කරන්න පුළුවන් එකම එක දෙයයිනේ, ඉතින් අපි උටත් නොකියම උගේ බැචලර් පාර්ටි එක තියන්න තීරණය කරගත්ත. බැචලර් පාර්ටි එකකට ඕනේ කරන්නේ ජාති දෙකයිනේ. ස්ට්‍රිපර්ලයි බොන්නයිනේ. අපේ සෙට් එකේ ඕව සම්බන්ද හොදට දන්නා පොරක් හිටියා.
ඉතින් පොර දන්නා ක්ලබ් එකකට අපි සෙට් එකම ගියා. ගිහින් ඔය සුද්දියෝ ටිකක් පොල්ලක් බදාගෙන හෙළුවෙන් නටන හැටි අරුන් ටිකට පෙන්නලා අපිත් බලල ගෙදර එන්න පිටත් වුන.
එලියට බැහැල ටියුබ් ස්ටේෂන් එක දිහාට ඇවිදන් එනකොට ඉස්සරහට සුද්දෝ දෙන්නක් එනවා බෝතලයක් අතේ තියාගෙන, කාර්පට් වෙන්න ගහල. උන් කන බොන ඒවා ඉතින් අපිට අදාළ නැති නිසා අපිත් අපේ පාඩුවේ ගියා. යනකොට මෙන්න එකෙක් ඇවිල්ල වලියට වගේ හැප්පිලා කියපි "බ්රෝව්න් ෆ**ස්, ගෝ බැක් ටු යුවර් කන්ට්‍රි" කියලා. අරුන් තුන් දෙනා ඊට පහුවද යන්න තමා කොහොමත් හිටියේ. නමුත් මල පනිනවනේ.. අනික අපි හයක්..මුන් දෙකයි.. අපිත් ඇරියේ නෑ, අනිත් පැත්තට උන් කිව්වා වචන ටිකටම දාල ලුණු අබුල් ඇතිව දුන්න කන් දෙකේ ඇගිලි ගහ ගන්න. මෙන්න එපාර මුන් දෙන්න එනවා හැරිලා.. කවුද අඩෝ අපිට කුණුහරුපෙන් බන්නේ කියල අහගෙන. කඩ්ඩෙන් ඇහුවේ..සිංහලෙන් එහෙම නෙවෙයි.

අපිත් ඉතින් සිංහ වන්සේන්ම කිව්වා අපි තමා මොකෝ කියලා. කියල කට ගත්තේ නෑ ලගම හිටපු අපේ එකාගේ මුණ හරහා පාරක් වැදුනා. ඔන්න දැන් ඉතින් වලියක් පටන් ගත්තට.. අපි මුන් දෙන්නට ගහනවා මුන් දෙන්න අපිට ගහනවා. කරුමෙට ගහගන්න පටන් ගත්තෙම පබ් එකක් ඉස්සරහ. ඉතින් මුන්ටත් බීල ඉන්න වෙලාවට වලියක් කිඋවොත් ඊට වැඩ දෙයක් නැනේ. පබ් එකම බැහැල එලියට අපේ උන්ට නෙලන්න ගත්ත. දැන් ඉස්සෙල්ල හය දෙනෙක් දෙන්නෙක්ට නෙලපු එක දැන් පනහක් විතර හයකට නෙලනවා. හොදවෙලවට ලගම තමා පොලිසිය තිබ්බේ. උන් දහයක් විතර දුවගෙන ආව. ඇවිල්ල ඉතින් පොඩ්ඩක් එහා මෙහා කරලා සුල මුල හොයන්න ගත්ත. අපි හය දෙනා ඉතින් බබාලා වගේ කියනවා "බලන්න අයියා, අරුන් අපිට ගැහුවා..අපි අහිංසකයි... උණු වතුරත් නිවල බොන්නේ" කියල. ඒ අස්සේ වලිය පටන් ගත්තු උන් දෙන්නේ හිමිට මාරු වෙනවා පොලිස් කාරයෝ ආපු ගමන්. අපේ එකෙක් ඕක දැකල කෑගල කිව්වා අරුන් පනිනවා කියලා. පොලිස් කාරයෝ ටික ඒ පාර උන් දෙන්නව අල්ලලා විස්තර බලන්න පටන් ගත්ත. බැලින්නම් උන් දෙන්න මෙහෙ අන්තවාදී පක්ෂෙක සාමාජිකයෝ, කලිනුත් ඔහොම වැඩ කරලා තියෙනවලු.
දැන් ඉතින් අපේ ලංකාවෙන් ආපු තුන්දෙනාට ඕනේ මුන්ට කෙලවන්නමයි. මුන් පොලිසියට කියනවා අරකයි මේකයි...නඩු දාන්නලු ඇවිල්ල සාක්කි දෙන්නම්ලු. කතා කෝටියයි. අන්තිමට කට්ටියගෙම නම් සාක්කි වලට ලියාගෙන අපිට යන්න කිඋව.. අරුන් ඩබල එදා රැ කුඩුවේ.
ඔන්න සතියකින් විතර පොලිසියෙන් කෝල් එකක් එනවා. මහා රැජිනගේ නිතිය කඩ කරලා, හේට් ක්‍රයිම් එකක් කරලා තියෙන නිසා එකට සාක්කියට එන්න පුලුවන්ද කියල. ඉතින් මන් කියපි, එක වෙලා ඉවරයි මට ඕක පුෂ් කරන්න ඕනේ නෑ. මට ඕවට වෙලා නෑ කියල. මෙන්න ඒ පාර කතා කරපු එකා කියනවා එහෙම බෑ, සාක්කි වලට කතා කරාම නොයා ඉන්න බැරිය, එහෙම කරොත් වරෙන්තු නිකුත් කරනවා කියලා. අම්මප අපි ගුටිත් කාල පස්සේ හිරෙත් යන්න. ඔය වෙලාවට තමා ඉතින් කුණු හරුප මතක් වෙන්නේ. අරුන් තුන් දෙනා ලංකාවට ගිහින් අපිව ෆෝම් කරනවා. ඇත අරින්න එපා. නෙලපන් මුන්ට..යවපන් දහ අට මාසෙකට මහා උළු ගෙදරට කියල.
දැන් ඉතින් නොයා බැනේ, ඉතින් නිවාඩුත් දාල ගියා උසාවි දවස් දෙකක් සාක්කි දෙන්න. පලවෙනි දවසේ බලන් ඉදලා ඉදාලා ආවා. නඩුව විභාගයට ගත්තේ නෑ, දෙවෙනි දවසේ තමා ඉතින් ගත්තේ. අපි ඉතින් සාක්කි දීල ආවා. ලංකාවේදී වැස්සකටවත් පොලිසියකට උසාවියකට ගිහින් නැති ග්‍රේ ඒ දෙකටම ගියා. ලස්සන පොලිස් කෙල්ලෙක් තමා නඩුව කරේ. ඉතින් ඒ ගෙනිගේ නම්බරෙත් ඉල්ලන් ගෙදර ආවා. ඇවිල්ල සති දෙකකින් විතර කතා කරලා ඇහුව මොකෝ උනේ කියල.
දවස් ගානක් කට්ට කාපු එකේ මුන් දෙන්නව අඩු ගානේ හිරේ හරි දාන්න ඕනෙනේ. මොන පිස්සුද, ජුරිය කියලා සාක්කි මදි කියලා. වැඩේ හබක්.
ඔන්න ඔහොමයි ග්‍රේ උසාවි ගියේ.