Friday, March 25, 2011

අයිෆල් නැගීම

පැරිසියේ මැද අර තියෙන පරණ යකඩ කණුවට නගින්න තමා දැන් ප්ලැන් එක. සිරාවට වෙලාවකට හිතෙනවා අහවල් දේකට තේරුමක් නැති යකඩ කණුවක් හිටෙව්වද කියල..උන්ට හිතුනද දන්නේ නෑ පැරිසියටම එක ලොකු අකුණු සන්නායකයක් හදන්න හිතුවද දන්නේ නෑ. විකිපීඩියා එකේ නම් තියෙන්නේ ඕක හදල තියෙන්නේ බැස්ටිලේ අල්ල ගත්තු එකේ 100 වෙනි සංවත්සරේ වෙනුවෙන් තිබ්බා වෙළදපොලේ ඇතුල්වෙන තැන කියලා. ඔය කට්ටිය එකතු වෙලා ලියන සයිට් එක ගැන මගේ කිසි විස්වාසයක් නෑ. ඉතින් එක නිසා මම හිතාගත්තා ලොකු අකුණු සන්නායකයක් වෙන්න ඕනේ කියලා. 

ඕක තියෙන්නෙත් ඉතින් සේන් ගග අයිනේම තමා. කලින්ම ටිකට් අරන් අපි ගියේ..උන්ගේ වෙබ් සයිට් එකෙන් ටිකට් ගන්න පුළුවන්. යන වෙලාවයි...කොච්චර දුරට යන්න ඕනෙද කියලයි කියලා දැම්මම ටිකට් එක ගන්න පුළුවන්. කලින් ටිකට් ගත්තු එක සැහෙන්න මොලේ තියෙන වැඩක් කියලා තේරුනේ තියෙන පෝලිම දැක්කම. ලෝකේ වටෙන්ම මිනිස්සු ඇවිල්ල එතන පිරිලා. අපි ඉතින් අපේ කලින් ගත්තු ටිකට් පෙන්නලා වීරයෝ වගේ ඇතුලට ගියා. එතනත් අර කතරගම ගියාම සෙල්ලන් බඩු එහෙම විකුනන්න තියෙන්නේ ඒ වගේ තමා. වටේම ඉන්නාව එක එක ජාතියේ බඩු උස්සගෙන මිනිස්සු විකුනන්න. ඇල්ජිරියන් උනුයි අපිට අල්ලපු රටේ උනුයි තමා එතනත්. උන් හිතුවේ අපිත් උන්ගේ රටේ කියලා..ඔය යක්කුන්ගේ රටේ එකෙක් වෙනවට වඩා හොදයි සෝමාලියාවේ ඉපදෙන එක. 
අයිෆල් කුලුන මීටර් 324 උසයි..(මම පොඩි මීටර් කෝදුවක් අරන් ගියේ..ඕක හරිද කියලා බලන්න) තට්ටු තුනක් තියෙනවා..මුල් දෙකේම තියෙන්නේ පොඩි ආපනශාලා. අර පොලවට හයි වෙලා තියෙන කකුල් හතරේ තියෙනවා පඩි පෙළවල් සහ ලිෆ්ට්. ඔය කැමති එකකින් යන්න පුළුවන් උඩට. 

අපි කෙලින්ම ලිෆ්ට් එකක් අරන් ගියා දෙවෙනි තට්ටුවට. දැන් ඔය කකුල් ටික තියෙන්නේ ඇදෙටනේ, ඉතින් කෙලින් කිව්වට ලිෆ්ට් එක යන්නෙත් කකුළුවා වගේ හරහට. එකෙත් පොඩි ගතියක් තියෙනවා. මොකෝ ඇදේට යන ලිෆ්ට් එකක හැමදාම යන්න වෙන්නේ නැනේ.  අනික ලිෆ්ට් එකේ යනගමන් ෆොටෝ ටිකක් ගත්ත. කණුවේ කෙලවරෙන්ම උඩට විනිවිද පේන ලිෆ්ට් එකක යනඑක චුට්ටක් විතර බය හිතෙන වැඩක්. නමුත් මාර ලස්සනට ඇතට පේනවා.
දෙවෙනි තට්ටුවට ආවම තමා පැරිසියේ ලස්සන හරියට පෙන්නේ. එක පැත්තකින් සේන් ගග. අනිත් පැත්තෙන් පැරිසියේ ගොඩනැගිලි. කෙලින්ම උඩ බැලුවොත් අයිෆල් කුලුනේ ඉතුරු ටික උසට උසේ පේනවා. 

 දෙවෙනි තට්ටුවේ ඉදන් තුන්වෙනි එකට යන්නනම් පඩිපෙලක් නෑ. තියෙන්නේ ලිෆ්ට් එක විතරයි. සැහෙන්න උඩනේ තියෙන්නේ. අර මුදුනේම පොඩි කොටුවක් වගේ පෙන්නේ. එක තමා තුන්වෙනි තට්ටුව. එතනට ඇවිල්ල එලියට ආවම තියෙන හුලගනම් කියලා වැඩක් නෑ. ඔව් ඉතින් තට්ටු 80 ක විතර ගොඩනැගිල්ලක උඩම තට්ටුවේ ඉන්නවා වගේනේ ඉතින් ඔය උස. තුන්වෙනි තට්ටුවේ තියෙනවා එතන ඉදන් ලෝකේ එක එක තැන්වලට තියෙන දුර ගහල. කොලබට තියෙන දුරත් ගහල තිබ්බනේ.











වටපිටාව බලල පහලට එන ගමන් ආයෙම දෙවෙනි තට්ටුවේ නතර වෙලා පොඩ්ඩක් කාල බිලා විවේකයක් අරන් එන්නත් අමතක කරේ නෑ. 
ආයේ රෑ වෙලා සේන් ගග ලගටයි අයිෆල් කුලුන ගවටයි ආවා. අයිෆල් කුලුනේ නිල පාටයි, කහ පාටයි ලයිට් දාල..හරිම ලස්සනයි... 


මොනලිසාව බලන්න ලුවර් කෞතුකාගරේට ගියපු හැටි එලාග ලිපියෙන්.

Thursday, March 24, 2011

සේන් ගග දිගේ..

පැරිසිය එලියට කොච්චර ලස්සනට පෙනුනත් සමහර තැන්නම් ගන්න දෙයක් නෑ. විශේෂයෙන්ම දුම්රිය ස්ථාන. ලන්ඩන්වල කවදාවත් උමං දුම්රිය ස්ථානයක් පොදු වසිකිලියක්වගේ ගද ගහන්නේ නෑ. ලන්ඩන් ඕනේ නෑ..කොළබ කොටුව දුම්රිය ස්ථානය සමහර වෙලාවට ඊට වඩා නහයට සනීපයි. ඉතින් අපි අර හෝටලේ බඩු ටික දාල ආපහු ටියුබ් එකක් ගත්තා නගරය මැදට යන්න. ඔන්න එතැනදී තම ග්‍රේ පලවෙනි පාරට තට්ටු දෙකේ කෝච්චියක් දැක්කේ. කෝච්චියට නැග්ගට පස්සේ පඩිපෙළක් තියෙනවා උඩට නගින්න. නිකන් තට්ටු දෙකේ බස් එකක යනවා වගේ තම ඉතින් දැනෙන්නේ. දැක්කට වැඩක් උනේ නෑ. අපිට නගින්න තිබ්බේ වෙන කෝච්චියකට. එකට නම් ඉතින් එක තට්ටුවයි..තට්ටු දෙකේ කෝච්චියේ යන්න හම්බු උනේ ඊට දවස් දෙකකට වගේ පස්සේ වෙන ගමනක් යනකොට..
ඔය පල්ලෙහා තියෙන්නේ ඒ වගේ තට්ටු දෙකේ කෝච්චියක්.


 අර මම කලින් පොස්ට් එකේ කිව්වේ ලන්ඩන් වල දුම්රිය ස්ථානවල කට්ටිය සංගීත භාණ්ඩ වාදනය කරනවා කියලා. එහෙම වාදනය කරන පොරක් තමා ඔය ඉන්නේ. පොර කොච්චර සිරාවට සෙල්ලම් කරද කියනවනම් වටේ හිටපු ඩයල් නටන්න පටන් ගත්තා..ගහපු සින්දුවනම් මතක නෑ. නමුත් සැහෙන්න ප්‍රසිද්ද ඉංග්‍රීසි සින්දුවක් කියලනම් මතකයි.. 


කෝච්චියෙන් ගිහින් බැහැල එලියට ආපු ගමන් දුරට පෙන්න තියෙන්නේ අයිෆල් කුලුන. සාමාන්‍යයෙන් අපි එලියට බැස්සොත් ඉතින් මොකක් හරි කෙලවීමක් වෙන එක බොහොම සුපුරුදු දෙයක්නේ. ගමන පිටත් වෙන්න දවස් දෙකකට වගේ කලින් කාලගුණ වාර්තාව දාල තිබ්බේ පැරිසියට අම්බානට වහින්න සෙට් වෙනවා කියලා. සතියකට වගේ කලින් ගියපු මගේ යාලුවෙක්ටත් ලොකු පරිප්පුවක් කන්න සෙට් වෙලා තියෙනවා වැස්ස සෙට් වෙලා. ඉතින් අපි වැදගෙන ගියේ වහින්න එපා කියලා. අපේ වාසනාවට එදා බොහොම හොදට අව්ව තිබ්බා. අහස අපුරු නිල් පාටයි...පින්තුර ගන්න කියාපු දවසක්. හැබැයි ඉතින් සමහර වෙලාවට නම් ඉතින් පොඩ්ඩක් වගේ අව්ව සැර වැඩි වෙලා පින්තුර ඕවරඑක්ස්පොස් වෙලා තිබ්බා. එදා තිබ්බා අව්වේ හැටියට එක බොහොම සරල දෙයක්. 

අපි බෝට්ටුවට නැගල අන්තිමම පේලියේ වැඩි වුනා. අන්තිමට වාඩිවෙන එකේ තියෙන චාන්ස් එක තම ඉතින් පින්තුර ගන්න ලේසියි.. බෝට්ටුවේ පිටිපස්සෙන් ලස්සනට වටපිටාව පේනවා. පැරිසියේ නගරේ මද ඔක්කොම වගේ තියෙන්න පරණ ගොඩනැගිලි. ලන්ඩන් වල වගේ පරණ ඒවා අස්සේ අලුත් ගොඩනැගිලි හදල නෑ. ඉතින් අන්තිම සිට් එකේ වාඩිවෙලා පාලම් වල පින්තුර අරගත්තු එක තමා කරේ. ( පාලම් කොක්කු නම් දැක්කේ නෑ, ඔන්න අහන්න කලින් කිව්වා) 
බෝට්ටුවේ යනගමන් අයිෆල් කුලුනෙත් පින්තුර දෙකතුනක් ගත්තා.. වටේ පිටේ තිබ්බා ගොඩක් ගොඩනැගිලි වල නම් මතක තියාගන්න තරම් සිහියක් තිබුනේ නෑ, මොකද බෝට්ටුවේ යනකන් ෆෝන් එකෙන් ලොකු මලක් කඩ කඩ ගියේ. ඉතින් ඔය වෙලාවට ඔය කියන නම් ගම් මතක හිටින්නේ නැනේ. 

අයිෆල් කුලුන ගාව නංගිලා දෙන්නෙක් බොක්සින් ගහනවා..අපේ ගෙදර ගාව පාර්ක් එකෙත් හවසට හවසට හිටිගමන් කට්ටිය ඕක කරනවා. ඉතින් එක මතක් වෙන්නත් එක්ක කියලා මමත් ගත්තා පින්තුරයක්. 

 අයිෆල් කුලුන නැගපු හැටි ඊලග ලිපියට දාන්නම්.

Wednesday, March 23, 2011

ගමනක මුල....

සැහෙන කාලයක් තිස්සේ ලියන්න ඕනේ කියල හිතපු කතාවක් අද පටන් ගන්න යන්නේ...අදින් පස්සේ ගොඩක් වෙලාවට බහුතරයක් කතා මේ වගේ වේවි...
කියන්න යන්නේ ග්‍රේ පැරිසියට ගියපු කතාව..

කොයි ලෝකෙට යන්න වුනත් ඉතින් මුලින්ම විසා ගන්න ඕනෙනේ..ඔය සුද්දන්ටවගේ අපිට හිතේ හැටියට ඕනේ ඕනේ තැනට යන්න අමරුයිනේ..ඉතින් ඔන්න ග්‍රේ ගියා විසා ගන්න. එංගලන්තෙට එන්න විසා ගන්න කාපු කට්ටත් එක්ක බලද්දී ඒ වගේ දෙගුණයක විතර කට්ටක් ප්‍රංශකරගෙන් කන්න වෙයි කියල හිතාගෙන තමා ඉතින් ගියේ. මාස තුනක පඩි විස්තර, බැංකු ගිණුම් වල විස්තර, ඔෆිසියෙන් ලියුමක්, ඔය වගේ තව හට හුට හමාරක් උස්සගෙන ගියේ. සිරාම වැඩේ තමා ඔක්කොම උස්සන් ගියාට විසා අයදුම්පත්තරේ විතරක් පුරවල අරන් ගිහින් තිබුනේ නෑ. ඉතින් අන්තිමට දඩබඩ ගාල එකත් පුරවල ඔක්කොම එකක් ගිහින් දුන්න. මෙන්න අනිත් පැත්තට විනාඩි පහෙන් විසා එකත් ගහල පාස්පෝට් එක දුන්න. අපි ඉල්ලුවේ දවස් 5 කට එකවරක් විතරක් යන්න, නමුත් මාස 6 කට මල්ටිපල් එනට්‍රි හම්බුනා.. පස්සේ දවසක ඉතාලි යන්න ඔහොම ගන්න ගියාම දීපු විසා එකේ හැටියට මේක මරේ මරු.ඔය විසා ඔෆිස් එකේ ආරක්ෂක සේවයේ හිටපු ඩයල් එක හරියට ට්‍රාන්ස්පොටර් ෆිල්ම් එකේ ඉන්න ජේසන් ස්ටතම් වගේ. අපේ වෙලාවේ චීන්නු ටිකකුත් ඇවිල්ල හිටිය විසා ගන්න..එකෙක් ඇතුලේ ජංගම දුරකතනයකින් කතා කර කර හිටියේ. ආරක්ෂාවට හිටපු කාන්තා නිලදාරිනියක් කිව්වා ඇවිල්ලා මේක ඇතුලේ දුරකථන පාවිච්චිය තහනම් කියලා, අරු ගණන් ගත්තේ නෑ. ඉතින් ඔන්න අපේ ජේසන්කාරය අවා. අරුට පොඩ්ඩක් එන්න කිව්වා පැත්තකට..කෙලවරට අරන් ගිහින් එලියට යන්න පුළුවන් දොරක් ඇරියා..ඇරලා කිව්වා...ඔයාට දැන් කැමැත්තෙන් එලියට බහින්න පුළුවන්, නැත්නම් මම උබව එලියට අදාල විසිකරලා දානවා කියලා. එතනින් පස්සේ චිනගේ ඔක්කොම සද්ද ඉවරවුනා.
ආයෙම කතාවට එමුකො... 
ලංකාවේ ඉදන් පැරිසියට කිලෝමීටර් 8500 වගේ තිබුනට ඉතින් ලන්ඩන් වල ඉදන් තියෙන්නේ කිලෝමීටර් 350 වගේ දුරක්. අනික ලන්ඩන්වල ඉදන් පැරිසියට යන්න පුළුවන්  යුරෝස්ටාර් අධිවේගී කෝච්චියේ. කෝච්චිය ලන්ඩන්වල ඉදන් ඩෝවර් වලට එනකන් ඇවිල්ලා එතන ඉදන් මුහුද යටින් යනවා ප්‍රංශයේ කැලේ දක්වා. එතන ඉදන් ආයේ පැරිසියට සාමාන්‍ය විදිහ තමා.  ඔය කෝච්චියක් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 300 විතර වේගයෙන් ගමන් කරනවා. 
ඔය පහල තියෙන්නේ අපි අපු කෝච්චිය තමා. පොඩ්ඩක් ඉතින් දුවිලි පාරක් එහෙම වැදිලා තියෙනවා. 

ඉතින් උදෙන්ම ලන්ඩන් වලින් කෝච්චියට නැගපු ග්‍රේ පැය 2-3 කින් පැරිසියේ. උදෙන්ම නැගිටපු නිසා කෝච්චියේ හොදට නිදාගත්තා. මොකෝ ඉතින් යන වේගෙට මුකුත් එළියේ තියෙන දෙයන් පැහැදිලිව අදුරගන්න පුළුවන් කියලායැ. පැරිසියේ "උතුරු දුම්රිය ස්ථානයෙන්" සුටුස් ගාල එලියට ඇවිල්ලා අපි බුක් කරපු හෝටලේට ගියා. දුම්රිය ස්ථානයේ ඉදන් විනාඩි 5 ක වගේ දුරකින් තමා අපි හෝටලේ හොයාගත්තේ. එකට ගිහින් උස්සන් අපු ගමන් මලු එහෙම අතැරලා හැරෙන තැපෑලෙන් ආයේ එලියට අවා. 
පල්ලෙහා පින්තුර ටික පැරිසියේ Gare du Nord දුම්රිය ස්ථානයේයි එක අවටයි. (ලොකුවට බලන්න ඕනේ නම් පින්තුරේ උඩ ක්ලික් කරන්න)


 


ලන්ඩන් වලට වඩා දැකපු අනිත් ලොකුම වෙනස තමා හිගන්නෝ..ලන්ඩන්වල ලගට ඇවිල්ලා අත දික්කරල සල්ලි ඉල්ලන ය බොහොම අඩුයි..ගොඩක් වෙලාවට කරන්නේ මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරන එක. නමුත් පැරිසියේ එලියට අවා විතරයි අපිව වටකරගත්තා. අපි සංචාරයට අවා කියලා තේරෙන්නත් ඇති..කොහොම නමුත් හැමෝම සල්ලි ඉල්ලන එක තමා කරේ. ගොඩක් අය ඇල්ජිරියානු කාන්තාවෝ. ඇල්ජිරියාව ඉස්සර ප්‍රන්ශේ යටත් විජිතයක්නේ. ඉතින් මගේ හිතේ උන්ට නිදහසේ ප්‍රන්ස්හෙට එන්න පුළුවන් ඇති. අල්ජිරියටව නිදහස දුන්නයි කියලනේ චාර්ල් ඩිගොල්ව මරන්නත් හැදුවේ ප්‍රංශ සෙට් එකක්ම. ඔන්න ආයේ පිල්ලෙන් පිට පනිනවා...

තට්ටු දෙකේ කොච්චියි, සේන් ගගේ රවුමක් ගියපු හැටියි ඊලග ලිපියෙන් දැන්නම්.

Friday, March 18, 2011

පිකාසෝ

කලින් කතාවේ පොඩ්ඩක් අපි කතාකරානේ පිකාසෝ ගැන. මොඩර්න් ආර්ට් (ඇවිදින ඒවා නෙවෙයි) බලන්න ටේට් ගැලරි එකට ගිය වෙලාවේ එතනත් පින්තුර සෙට් එකක්ම තිබුණා. හැබැයි එක පින්තුරයක් මට මග ඇරිලා තියෙනවා දවස් කිහිපයක වෙනසකින්. එක තම පිකාසෝගේ 'Nude, Green Leaves and Bust' කියන පින්තුරය. ලෝකේ මේ වෙනකන් වැඩිම ගානකට විකිණිලා තියෙන්නේ ඒ පින්තුරේ. ඒ ගිය අවුරුද්දේ ඩොලර් මිලියන් 333.5 කට. අරන් තියෙන්නේ කවුද කියල නම ප්‍රසිද්ද කරලා නෑ. කොහොම හරි ඕකත් ටේට් ගැලරි එකේ ප්‍රදර්ශනයට දාල තියෙනවා දවස් කිහිපයකට කලින්.



මම චිත්‍ර ගැන ලොකුවට දන්නේ නෑ. ටේට් ගැලරි එකේ පිකාසෝ තමන්ගේ ජිවිතේ අන්තිම කාලේ ඇදපු චිත්‍ර සෙට් එකක් තිබුණා. නාකිවෙලා මුකුත් කරගන්න බැරි උනාම පොරට තිබ්බ දෙස්පරේෂන් එක තමා හැම චිත්‍රෙකම තිබුනේ. සමහරු මේ චිත්‍රවලට කැමති වේවි..සමහරු අකමැති වේවි.. නමුත් වැදගත් වෙන්නේ අන්න ඒ කැමති හෝ අකමැති වෙලා එන හැගීම.

                                                                               



   




පින්තුර ගත්තේ ටේට් ගැලරි එකේ වෙබ් අඩවියෙන් 

Friday, March 11, 2011

මොඩර්න් ආර්ට්

මමයි මුදුකොල්ලකාරයයි තව යාළුවෙකුයි පහුගිය දවසක ගියා ටේට් මොඩර්න් ආර්ට් ගැලරි එකට. ග්‍රේට කොහොමත් මොඩර්න් ආර්ට් කියනදේ එච්චර තේරෙන්නේ නෑ. සිරාවට බලිකුරුටු ටිකක් වගේම තම පෙන්නේ. මේ සැරේ ලංකාවට ගියා වෙලාවෙත් ඇබ්ස්ට්‍රක්ට් ආර්ට් තියෙන ප්‍රදර්ශනයක් බලන්න දන්නා අදුරන ගැණු ළමයෙක් එක්ක ගිහින් අන්තිමට යන්තන් ගුටි නොකා ගෙදර ආවා. කොහොමහරි එක වෙනම කතාවක්...ඉතින් ඔන්න අපි තුන්දෙනා ගියා බලන්න නුතන කලාකෘති.... ඔය සෝලිස් මාස්ටර්ගේ කැළණි විහාරයේ පින්තුර, ජෝර්ජ් කීට්ගේ ගෝතමී විහාරයේ පින්තුර, මයිකල් අන්ජිලෝගේ සිස්ටයින් චැපල් එකේ පින්තුර..ඔන්න ඕව තම ග්‍රේ කැමති ශයිලිය. ලස්සනට පාට කරලා තියෙන්න ඕනේ.
දැන් ඉතින් ඇතුලට ගිහිල්ල අපි අපි බලනවා එක එක ඒවා...සමහර දේවල් නම් තේරුම් ගන්න වෙනම කොර්ස් එකක් කරලා එන්න වෙනවා වගේ. අනික තමා ලස්සන කෙල්ලෝ වැහි වැහැල. නිකන් ලංකාවේ කැම්පස් එකක ආර්ට් ෆැකල්ටියට ගියා වගේ.
ඔය තියෙන්නේ ඉතින් එකේ ප්‍රදර්ශනයට දාල තිබුණු පින්තුර කිහිපයක්...






සිරාවට පොඩ්ඩක් දගලුවොත් මටත් බැරි නෑ ඕව අදින්න..වැඩේ තමා මේ චිත්‍රවලින් ලොකු අදහසක් කියවෙනවා කියන එක... වරදක් කියනවා නෙවෙයි..ඇත්තටම මට තේරුම් ගන්න බෑ.
කොහොම හරි ඉතින් ඔන්න බලල බලල අන්තිමට පිකාසෝගේ පින්තුර ටිකකුත් තිබ්බ..ඒවත් බැලුව...ඔන්න ඔය අතරේ තමා දවසේ කතාව ඇදිල අවේ. දැන් අපි ගොඩක් දෙනෙක් පිළිගන්නවනේ පිකාසෝ පට්ට සිරා චිත්‍ර ශිල්පියෙක් කියලා..මම වැන් ගෝට ගොඩක් කැමතියි...නමුත් පිකාසෝ ගැන එච්චර පැහැදීමක් නම් නෑ. අර මුලින්ම කියපු සිද්දිය වෙන්න පුළුවන් හේතුව.
කතාව වුනේ පිකාසෝ ඔය පදික වේදිකාවක වගේ චිත්‍ර අදාල විකුනන්න තිබ්බනම්, මයිකල් ඇන්ජිලෝ තාප්ප වල චිත්‍ර ඇද ඇද හිටියනම් ඔයවගේ මහා ලොකු නමක් අද ඇතිවෙයිද  කියන එක. ඩැනියෙල්-හෙන්රි කන්වෙයිලර් (නම කිව්වා හරිද මන්ද) පිකසොට එදා අනුග්‍රහය නොදක්වන්න අද පිකාසෝ කෙනෙක් නැතිවෙන්න තිබ්බා. මම දකින්නේ ඔතන සරල හේතු කිහිපයක්...අපි වගේ සාමාන්‍ය පුද්ගලයෙකුට තව පුද්ගලයෙකුව ඔසවාතබන්න හැකියාවක් නෑ..ඒ වගේම ඒ තරම් ඉහල රසක්‍යතාවකුත් නෑ...ඒ වගේම වෙලාවකුත් නෑ. ඕකට හොද උදාහරණයක් අවුරුදු කීපෙකට කලින් ඇමරිකාවේ උනා. ජෝෂුවා බෙල් ඔහුගේ ඩොලර් මිලියන් 3.5 වටිනා වයලින් එකෙන් වොෂින්ටන් වල උමං දුම්රිය ස්ථානයක වයලින් ගහපු අවස්ථාවේ... විනාඩි 45 වයලින් ගහල හොයාගන්න පුළුවන් වෙලා තිබ්බේ $32 විතරයි....නමුත් එට දවස් දෙකකට කලින් ජෝශුවගේ ප්‍රසංගයකට එක ටිකට් එකක් ගියිහින් තියෙන්නේ $100 කට වගේ. මම උනත් ඒ අවස්ථාවේ එතන දුම්රිය ස්ථානයේ හිටියනම් අරු සිරාවට වයලින් ගහනවා කියාගෙන යාවි...නැතුව නතර වෙලා අහන එකක් නම් නෑ. ටැබූ හිටියනම් අපුරු විග්‍රහයක් අහගන්න තිබුණා.
පිකාසෝගේ පින්තුර ටික පස්සේ දවසක දාන්නම්... වෙන කතාවක් එක්ක...

 P.S
ක්‍රව්-මගා සටන් ශිල්පයේ ෆර්ස්ට් හෑන්ඩ් එක්ස්පිරියන්ස් එකක් ගැනීමේ අකමැත්ත නිසා ලියන ලදී.
ජෝෂුවා බෙල්ගේ කතාව කියන ලද්දේ මුදුකොල්ලකාරයා වන අතර...එම කතාවේ සියලු හිමිකම් ඔහු සතුය. 

Wednesday, March 9, 2011

නොලියා ඉන්න බැරි නිසාම....


පුද්ගලයෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මම දැඩිව විශ්වාස කරන දෙයක්. හරියට මනුස්සයෙක්ට ඕනෙම දෙයක් ඇදගෙන පාරේ යන්න පුළුවන් කම තියෙන්න ඕනේ වගේ. (සමහරු එකටත් විරුද්දයිනේ)
අපි මතවාදීව අන් අයෙක්ගේ මතයකට එකගවීම හෝ නොවීම වෙනම කාරණයක්. මතවාදී එකග නොවීමක් තියෙනවනම් තර්ක කරන්න පුළුවන්. එහෙම නැතුව හරි ඒ පුද්ගලයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා පමුණුවන එක කොහෙත්ම පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි.
පසුගිය දවස් වල බ්ලොග් අවකාශයේ සිදුවුන දේවල් සමහරක් පිළිගන්න අපහසුයි. අතිශයින් දක්ෂ සහ කලානුරුප මාතෘකා ගැන ලියවුනු විශිෂ්ට බ්ලොග් කිහිපයක් ඉතාම කෙටි කාලයක් තුල නැවතිලා තියෙනවා. ඒ වගේම බ්ලොග් කිහිපයක් හැක් වෙලා තියෙනවා. මේවා වෙන්න ඕනේ දේවල් නෙවෙයි. විශේෂයෙන්ම ටැබූගේ බ්ලොග් එක හැක් වීම සහ කොලුගෙ සමුගැනීම ඉතාම විශාල පාඩුවක්. බ්ලොග් අවකාශයතුල කතා බහට ලක්නොවෙන මාතෘකා ගැන ඉතාම විශිෂ්ට රචනා ශයිලියකින් ලියන්න පුළුවන් ඉතාම සුළු ප්‍රමාණයෙන් කිහිප දෙනෙක් තමයි ඒ දෙදෙනා.
අන්මත විදදරා ගන්න බැරිකම මානසික රෝගී ලක්ෂණයක්. ඒ වගේම ඊට විරුද්දව මෙවැනි පහත ආකාරවලින් ප්‍රතිචාර දැක්වීම තුල තියෙන්න පුද්ගල පවුරුෂය පිළිබද ගැටළුවක්.
මේ වගේ දේවලට විරුද්දව පොදුවේ හඩක් නගන්න ඕනේ වෙනවා. ගොඩක් වැරදි දේවල් වෙන්නේ නරක මිනිස්සු වැඩි නිසා නෙවෙයි....යහපත් පුද්ගලයෝ කටවහගෙන හිටපු නිසා.

First they came for the communists,
and I didn't speak out because I wasn't a communist.

Then they came for the trade unionists,
and I didn't speak out because I wasn't a trade unionist.

Then they came for the Jews,
and I didn't speak out because I wasn't a Jew.

Then they came for me
and there was no one left to speak out for me.

                   Pastor Martin Niemöller (1892–1984)


සමහර විට මේ පොස්ට් එකට වන්දි ගෙවන්න වේවි මගේ බ්ලොග් එකෙන්..

Sunday, March 6, 2011

පැය 24 සේවාව

අද හවස ගෙදරට බඩු ටිකක් ගන්න කියලා ටෙස්කෝ එකකාට ගියා. උඩ ලොකුවට පැය 24 පුරාම වැඩ කියලා ගහල තිබ්බ නිසා මම ගියේ 3.ත විතර. මෙන්න මුන් හවස 4ට ඒක වහනවා. පස්සේ තම දැක්කේ යටින් පොඩියට ලියල තියෙන ඒක.


මේ තියෙන්නේ ඒක. යටින් පොඩියට ලියල තියෙන ඒක බලන්නකෝ.



කොහොමද වැඩේ??
ප.ලි: ටෙස්කෝ ගැන දන්නේ නැති අයට. ටෙස්කෝ තමා මෙහෙ තියෙන ලොකුම සුපර් මාර්කට් චේන් ඒක. ලාභ අනුව බැලුවම ලෝකෙන් දෙවෙනියට තියෙන එක. එකෙත් එක්ස්ට්‍රා කියන්නේ තියෙන ලොකුම සුපර් මාර්කට් එකට. ඕනනේ එකෙත් හැටි.
http://en.wikipedia.org/wiki/Tesco